නිමිත්ත: ඉඳහිට ගමට කතාකර සුවදුක් අහන අවස්ථාවක දී ජෝන් අත්තප්පා මිය ගිය වග සැළ විය. එවිට ඔහු පිළිබඳ හිත කිව්ව මතකයයි
රිටිගල කන්ද වට
මින්නේරි හබරණ මහ වන
ඇඳුණු සිතියමකි හිත
මගක් නොමැතිව ඇවිදින
පළු වීර දං මල් පිපෙනා
බිඟු රොන් පිණිස ඇදෙනා
ඉවෙන් දත් ජෝන් මාමා
මී කැලේ යන්න හපනා
බැඳන් වාඩිබඩු මුට්ටා
ගමනට එකට බැස්සා
කඩා කොල අතු රිකිල්ලක්
එල්ලා කිරි ගහක මතුරත්
මින්නේරි දෙවියන්ට බාරයක්
මී වද පැණි පිරුනු ගමනක්
දින දෙක තුනක් ඈතට
පීරා කැලය ඈතුලට
මී වද තියෙය් යහමට
ආ පහු හැරෙනු බැරිහිත
කැටපත් මලේ මී පැණි
නොම්මර එකේ රස විණි
විකුණන්න නොවේ ඒ පැණි
දරු මුණුපුරෝ මග විණි
දෙය්යන්ගෙ අඩවිය
කට වැරදී ද වහ විය
වැළහින්න කඩා පැනපිය
මී පැණි ලෙයින් මුසු විය
සටනකිය මහ වන මැද
වැලහින්න දෙවෙනි නොම විය
බයට සී සී කඩ විය
ජෝන් මාමා තිනි විය
පෙර වාසනා ගුණ ඇති
මළ කඳ අරන් ගිය සකි
පිහිටට ආවෙ ලොරියකි
ජීවත් වෙන්න පිං ඇති
පාදයක දෑඟිලි
දකුණු අත සුළැඟිලි
නහය කොට විරූපී
බරු ගසා අඳ කරපු ඇසැකී
ඇඟ කිලි පොලා ගිය
ළමා විය දුන්න මතකය
කතා හතරක් පද විය
ගමට ගලිවර් විය
විහිළුවට බොරු කියයි
පොඩි උන්ද බය කරයි
ජිල් ජෝන් යන්නයි
ගම්මු පටබැඳි නාමයයි
හිඳුණු වැව් මඬ මත
එරුණු ඇත් පැටියව
බේරා ගත්තෙ ජෝනය
අලි ජෝන් උනේ එහෙමය
ජිල් ජෝන් අලි ජෝන් වලස් ජෝන්
කැපුවත් පාට කොල අලි ජෝන්
මහින්දසෝමට[4] බොහෝ සේ ලැදි ජෝන්
ලද දෙයක් නම් කිසිමවිට නැති ජෝන්
උදය ආර් තෙන්නකෝන්











































